ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 29ක්

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 29ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කොට ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (ජනවාරි 26වැනිදා) ආරම්භ විය.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස අගවිනිසුරුවරයා කටයුතු කරයි. විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරු වශයෙන් විජිත් මළල්ගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරු කටයුතු කරති. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 29 ක් ගොනුකර තිබේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත අතිශය භයානක සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හේතුවන බවට වන කරුණු කිහිපයක් පෙත්සම් තුළින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දක්වා තිබේ.

මානව හිමිකම්වලට සීමා පනවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පෙත්සම්කරුවන් පවසන මෙම කෙටුම්පතේ අඩංගු කරුණු මොනවාදැයි මෙම ලිපියෙන් විමසා බලමු.

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත “ත්‍රස්තවාදය” යනු කුමක්දැයි පැහැදිලිව අර්ථකථනය කර නැහැ
පෙත්සම්වල සඳහන් වන පරිදි යෝජිත පනත් කෙටුම්පත තුළින් “ත්‍රස්තවාදය” යන්න කුමක්දැයි පැහැදිලිව අර්ථකථනය කර නොමැත. එසේම “ත්‍රස්තවාදී ක්‍රියා” යන්නට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට අදාළ නොවන චෝදනා ගණනාවක්ම ඇතුළත් කර ඇති බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් පෙත්සම් වල සඳහන්ය . මේ හරහා ඕනෑම අපරාධ ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට බලධාරීන්ට අවස්ථාව සැලසෙන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන පුද්ගල නිදහස සීමා වන බවත් එම පෙත්සම් වලින් චෝදනා කර තිබේ.

පනත් කෙටුම්පතේ 19 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදාවලට සහ වෙරල ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පවරාදී තිබෙන බවත් පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් ප්‍රබල චෝදනාවකි. එසේම පනත් කෙටුම්පතේ 22 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සහ වෙරළ ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට ඕනෑම පුද්ගලයකු නැවැත්වීමටත් ඕනෑම පරිශ්‍රයකට ඇතුළුවීමටත් බලය ලබා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.

එසේම පනතේ 53 වන වගන්තියට අනුව රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට හා වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයින්ට වාහන හෝ නැව් නැවැත්වීමට බලය ලබාදී තිබෙන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා වෙරළ ආරක්ෂක බලකායේ සමාජිකයින්ට ලබා දී තිබෙන මෙම බලතල අතිශය අත්තනෝමතික වන බවත් එය නීතියේ ආධිපත්‍යයේ පැවැත්මටත් තර්ජනයක් බවත් ඔවූහූ පෙන්වා දෙති. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ජනතා පරිමාධිපත්‍යය, පුද්ගලික නිදහස හා මූලික අයිතිවාසිකම් සීමා කිරීම මේ හරහා සිදුවන බවත් පෙත්සම්වල සඳහන්ය.

යෝජිත පනත් කෙටුම්පතේ 30(1) වගන්තිය තුළින් මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අපරාධ නඩු පැවරීමකින් තොරව වසරක් නොඉක්මවන කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගත හැකි බව සඳහන් කර ඇතැයි පෙත්සම් වලින් කරුණු දක්වා තිබේ. එසේම එම වගන්තිය තුළින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ කරනු ලබන ඉල්ලීමකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ද අවකාශ සලසා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.

ඊට අමතරව පනත් කෙටුම්පතේ 31 වන වගන්තිය තුළින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා මාස තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි රැඳවුම් නියෝග නිකුත් කිරීමටද බලය ලබාදී ඇති බවත් මෙය අනතුරුදායක තත්ත්වයක් බවත් පෙත්සම්කරුවන් දක්වා ඇත. මෙය අධිකරණය සතු බලය කප්පාදු කිරීමක් වන අතර අධිකරණය සතු බලය මේ ආකාරයෙන් රජයේ නිලධාරීන් සතු කිරීම අනතුරුදායක බවත් පෙත්සම් වලින් පෙන්වා දී ඇත.

පනත් කෙටුම්පතේ 22 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයා එම රැඳවුම් නියෝගවලට අවනත වෙමින් කටයුතු කළ යුතු පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයාට සිය බලය ක්‍රියාවේ යෙදවිය හැකි වපසරිය සීමා කර තිබෙන බවත් පෙත්සම්කරුවන් දක්වන තවත් කාරණයකි. පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ අධිකරණයට පමණක් බවත් ඒ සඳහා මැදිහත්වීමට අධිකරණයට තිබෙන බලතල ද කප්පාදු කර ඇති බවත් අධිකරණය සතු බලතල විධායකය විසින් අත්පත් කර ගැනීම අතිශය භයානක බවත් අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

යෝජිත පනත් කෙටුම්පතේ 37(7) වගන්තිය තුළින් රැඳවුම් නියෝගවලට අදාළ කොන්දේසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි. එසේ පනවනු ලබන කොන්දේසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවෙයි. පාර්ලිමේන්තුවේ සුපරික්ෂණයකින් තොරව ජනාධිපතිවරයාට මෙම බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බවත් එය රාජ්‍ය බල තුලන මූලධර්මයටත් පටහැනි ක්‍රියාවක් වන අතර ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත් අදාළ පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.

අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඉහත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය, නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය, අනීතික ලෙස රඳවා ගැනීමට එරෙහි මූලික අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, සිතීමේ නිදහස පිළිබද මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්වල සඳහන් කර තිබේ.

ඒ අනුව අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙම ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එය අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මේ වනවිට පාර්ලිමේන්තුව මගින් සම්මත කරගෙන තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ සංශෝධන පාර්ලිමේන්තුව විසින් ඒ ආකාරයෙන් සම්මත කර නොමැති බවට චෝදනාවක් එල්ල වී තිබේ. එවැනි තත්ත්වයක් ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ද මතුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්දැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය. ජයම්පති වික්‍රමරත්නගෙන් බීබීසී සිංහල විමසුවේය.

“ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් ඇතිවේ යැයි අපට දැන්ම කියන්න බෑ. එසේ කීවොත් ඉන් අසාධාරණයක් සිදුවෙනවා. නමුත් ඔන් ලයින් පනත සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා ගැන මට කියන්න පුළුවන්. එම පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන සම්මත වී නොමැති බවට චෝදනාවක් එල්ලවී තිබෙනවා. එය සත්‍යයක් නම් හරිම කණගාටුදායක තත්ත්වයක්. පනත් කෙටුම් පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකරනු ලබන නිර්දේශ ක්‍රියාවේ යෙදවීමට රජය කටයුතු කළ යුතුයි. එසේ නොකළහොත් අදාළ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් යෙදීමෙන් පසුව ඒ පිළිබඳව අධිකරණයේ හමුවේ අභියෝග කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි අවස්ථාවක පුරවැසියන්ට අධිකරණයට ගොස් නඩු පැවරීමට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. මේක තමයි තිබෙන අවාසනාවන්ත තත්ත්වය. ඒ නිසා කතානායකවරයා එම පනතට අත්සන් යෙදීමට පෙර පනතේ ප්‍රතිපාදන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකළ සංශෝධන වලට අනුකූලව සිදුවී තිබේදැයි සොයාබැලිය යුතුයි.” යනුවෙන් ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සඳහන් කර සිටියේය.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කොට ඒ වෙනුවට රජය විසින් සම්මත කිරීමට සූදානම් වන යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිය කනස්සල්ල පළ කර තබේ.

යෝජිත පනත් කෙටුම්පත තුළින් නිකුත් කරනු ලබන රැඳවුම් නියෝග සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට තිබෙන ඉඩකඩ සීමා සහිත වීම, මානව හිමිකම් කොමිසමට මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණය කිරීමට තිබෙන ඉඩකඩ සීමා වීම ඇතුළු පුද්ගල හා මානව නිදහස සීමා කරන ප්‍රතිපාදන යෝජිත පනතට ඇතුළත්ව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.

රජය විසින් දැනට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් පුද්ගල නිදහස් සහ මානව අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට ලැබෙන ඉඩකඩ වඩා පුළුල් වනු ඇති බවත් එම නිවේදනය තුළින් අනතුරු අඟවා තිබේ. එම බලතල අනිසි ලෙස භාවිතා වීම වැළැක්වීමට යාන්ත්‍රණයක් නොමැති බවත් එහි සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ඇතිකරගෙන තිබෙන මානව හිමිකම් පිළිබඳ බැඳීම් හා එම අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට යෝජිත පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

උපුටාගැනීම - බීබීසී සිංහල (සංස්කරණ සහිතව)