පොලීසියේ අලුත්ම ඝාතනය..!

පොලීසියේ අලුත්ම ඝාතනය..!

හිටපු කොමාන්ඩෝ සෙබලෙක් වන දිනේෂ් කල්හාර හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගිය මාර්තු 11 වෙනිදාය රාත්‍රියේ දී ය. ඒ ගම්පහා මල්වතු හිරිපිටිය ධම්මරතන හිමිගේ ඝාතනයට සැකපිටය. එම රාත්‍රියේම ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ භාරයට පත්කර ඇත. ඒ අනුව කොළඹට ගෙන එනු ලබන සැකකරුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය ප්‍රකාශ කරයි. මෙම ප්‍රශ්න කිරීමෙන් අනාවරණය වී ඇති තොරතුරු අනුව එදිනම රාත්‍රියේ අත්තනගල්ල පොලිස් වසමේ ඌරාපොළ ලිහිණියා ඇල්ල ප්‍රදේශයට සැකකරු රැගෙන යන්නේ සඟවා ඇතැයි අනාවරණය වූ බව කියන ආයුධ සොයාගැනීමට ය.

ඒ අනුව සුපුරුදු පරිදි සැකකරු සඟවා ඇති තුවක්කු පෙන්නන ස්වරූපයෙන් සඟවා ඇති ආයුධයක් ගෙන පොලීසියට වෙඩි තබා ඇත. එහිදී පොලීසිය තමන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැකකරුට වෙඩි තබා ඇත. පොලිස් වෙඩි පහරින් මියගිය ආයුධ පෙන්වන්න ගිය සැකකරුවන් ගේ ලිස්ට් එකට තවත් සැකකරුවෙක්ගේ නමක් එකතුවී ඇත. ඒ නම දිනේෂ් කල්හාරගේය.

මෙවැනි සිදුවීම් අසා ඇති අපිට දැන් මේවා තවදුරටත් නාට්‍ය නොවෙන බව කිවයුතුය. පොලීසිය තවදුරටත් තමන්ට
ඝාතනය කරන්නට අවශ්‍ය පුද්ගලයන් ඝාතනය කර එම ඝාතනයන් වසා දමන්නට මෙහෙම බොරු ගොතා දැන් පළක් නැත. ඒවා මිනිසුන් විශ්වාස කළ කාලය දැන් අවසන්ව ඇත. ඒ මන්ද මේ තිරය සමාජයට නිරාවරණය වී බොහෝ කල් නිසා ය.

මෙවැනි ඝාතනයන් තුළින් සිදුවන්නේ අධිකරණය තවදුරටත් හෑල්ලුවට ලක්වීමය. මෙවැනි ඝාතනයන් ගැන අධිකරණය හැසිරෙන ආකාරය දෙස බලා පුරවැසියා අධිකරණයේ ස්වභාවය තේරුන් ගන්නවා ඇත. එය නීතියේ පාලනයට හොඳ නැත. රටේ සමස්ථ නීති පද්ධතියට එය හොඳ නැත. එනිසා මෙවැනි ඝාතනයන් පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළ විට අවම වශයෙන් අධිකරණය මේ පිළිබඳව පොලීසිය ප්‍රශ්න කළ යුතුය.

මෙවැනි ඝාතනයක් පිළිබඳව ලියවුණ මෙවැනි නාටකීය ප්‍රවෘත්තියක් අසන පුරවැසියට මෙවැනි ප්‍රශ්න ගණනාවක් පොලීසියෙන් අසන්නට හැකිය

1. රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් එම රාත්‍රියේම ආයුධ සොයන්නට රැගෙන යන්නට තරම් හදිස්සි වුණේ ඇයි?
2. මෙම සැකකරු කැලයට රැගෙන යනවිට මාංචු දමා ද රැගෙන ගියේ?
3. එසේ මාංචු දමා තිබුණේ නම් ඔහු පොලීසියට වෙඩි තැබුවේ කෙසේද?
4. සැකකරු රැගෙන ගියේ මාංචු නොදා නම් ඒ ඇයි?
5. සඟවා ඇති ආයුධ පෙන්වන්නට යන සැකකරුවෙක්ට එම ආයුධ අතින් ඇල්ලීමට පොලීසිය ඉඩදුන්නේ ඇයි?
6. ආයුධ පෙන්වන්නට යන සැකකරු පිටුපස ඔහුට යාව පොලිස් නිලධාරියෙක් රඳවන්නට කටයුතු කළාද? නැතිනම් ඒ ඇයි?
7. මෙම සැකකරු භාරව කටයුතු කළ පොලිස් නිලධාරියා කවුරුන්ද?
8. වෙඩි තැබීම සඳහා යම් නිලධාරියෙක් නියෝග නිකුත් කළා නම් ඒ කවුද?

මෙවැනි ප්‍රශ්න බොහෝමයක් මෙවැනි ඝාතනයක් පිළිබඳ තොරතුරු සමාජයට පැමිණි විට පුරවැසියාට ඇති නොවන්නේ නම් ඔහු අමු මෝඩයෙක් ය. ජනතාව අමු මෝඩයින් නොවෙන බව කිවයුතුය. ‘පාතාලයින් ඝාතනය කළාට කමක් නෑ’ යන මතයක් සමාජය තුළ පතුරුවා ඇත. ඒ මතය විසින් පුරවැසියාගේ ඇස් අන්ධකර ඇත. ඒ අනුව පුරවැසියා මෙවැනි ඝාතන ඉවසන්නට පුරුදු පුහුණු කර ඇත. එය සිදුකර ඇත්තේද මාධ්‍ය භාවිතා කරමින් ය. එනිසා මෙවැනි සමාජයන් සාමූහිකව පුනුරුත්ථාපනය විය යුතුය. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වැනි සියල්ල වළපලට යන දිනය වැඩි ඈතක නැත.

පොලීසිය මෙසේ අනීතිකව ආයුධ පෙන්වන්නට ගොස් සැකකරුවන් මරා දමනවිට මානව හිමිකම් කොමිසම එයට මැදිහත්ව එම ඝාතනයන් පිටුදැකීම උදෙසා මාර්ගෝපදේශයන් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය එම මාර්ගෝපදේශයන් මෙසේ සටහන් කරයි –

‘විමර්ශනයක් සඳහා රැඳවියෙකු පොලිස් ස්ථානයෙන් පිටතට ගෙන ගියහොත්, එම පියවරට බලය දුන් අදාළ උසස් පොලිස් නිලධාරියා රැඳවියාගේ ආරක්ෂාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගත යුතුය.

අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෝ රැඳවියෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ පරීක්ෂණයක් භාරව සිටින පොලිස් නිලධාරියා එම පරීක්ෂණයට හෝ පරීක්ෂණයට අදාළ සියලු විස්තර ලිඛිතව නිවැරදි වාර්තාවක් තබා ගත යුතුය.

භාරකාරත්වයේ දී හෝ ගැටුම් මරණයක් සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් කිරීමේදී, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සෑම විටම මියගිය පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කළ යුතුය.

අත්අඩංගුවට ගැනීමට හේතුව, මියගිය පුද්ගලයාගේ අතීත අපරාධ වාර්තාව සහ මියගිය පුද්ගලයාගේ හෝ මියගිය පුද්ගලයාගේ පවුලේ අයගේ වාර්ගිකත්වය, ආගම හෝ පදිංචි ස්ථානය වැනි වෙනත් පුද්ගලික තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකළ යුතුය.

මරණයෙන් පසු වහාම මාධ්‍ය වෙත තොරතුරු නිකුත් කිරීමේදී අදාළ පොලිස් නිලධාරීන් මියගිය පුද්ගලයා වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී යැයි සැලකීමට ඇති අයිතියට ගරු කළ යුතුය.

අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ චූදිතයෙකු පමණක් වන කල, එවැනි පුද්ගලයෙකු ‘අපරාධකරුවෙකු’ හෝ ‘වරදකරුවෙකු’ ලෙස නිරූපණය නොකළ යුතුය.’