නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

ඒ අනුව මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නාරම්මල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන සහ පොලිස් සැරයන් චමුදිත බණ්ඩාර කුලසේකර යන අයට මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේය.

එහෙත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පෙත්සම් විභාගයක් නොපැවැත්වීමට තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් වෙත නොතිසි නිකුත් නොකිරීමට ද නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ කමණී රූපිකා ප්‍රියංගනී විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

පෙත්සම ඉදිරිපත් කර තිබූ මිය ගිය තැනැත්තාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනී… යුක්තිය මෙහෙයුමේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අපරාධය සිදුකර ඇති බව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම නිලධාරින් සිවිල් ඇඳුමින් සැරසිලා තමයි රාජකාරිය කළේ. සිවිල් ඇඳුමින් සැරසී සිටි මෙම පිරිස් වලට නිල ආයුධ රැගෙන යාමට අවසර දුන්නේ කවුද? මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මෙම සිද්ධියට නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයා ද වගකිවයුතුයි. ඔවුන් සාමූහික ලෙස වගකීමට බැඳී සිටිනවා.”යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණයට කරුණු දක්වමින් “ස්වාමීනී… මෙම නඩුවේ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. අප පෙනී සිටින්නේ නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස්පතිවරයාට පමණයි. නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස්පතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වන්නේ නැහැ. මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව මේ වන විට ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. අපක්ෂපාතී ආකාරයෙන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නැහැ. එම නිසා නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නඩු විභාගයක් පැවැත්වීම සඳහා නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් මා විරුද්ධ වෙනවා.”යනුවෙන් සඳහන් කළේය.

ඒ අනුව දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව ඉහත නියෝග නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තිදරු මවක් බවය. ඇය පෙත්සමේ දක්වා ඇත්තේ, ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියක යමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බවයි. මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන්ය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්, වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

උපුටාගැනීම – බීබීසී සිංහල