දැන් රටේ පව – පින තීරණය කරන්නේ සර්වබලධාරී ටිරාන් අලස්ද?

දැන් රටේ පව – පින තීරණය කරන්නේ සර්වබලධාරී ටිරාන් අලස්ද?

අලස් ඇමතිකමෙන් ඉවත් කරන ලෙස නීතිඥ සංගමය කියයි.
රාඩා නඩුවේදී ටිරාන් නීතිඥවරුන්ට කීයක් ගෙව්වාද?

අප්‍රේල් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභා රැස්වීමේදී, මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස්, එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි යෝජනාවක් ඒකමතිකව සම්මත කර ගන්නා ලදි. ඔහු ඉල්ලා අස්වෙන්නේ නැතිනම්, ජනාධිපතිවරයා ඔහු එම තනතුරෙන් ඉවත් කළ යුතුයැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටද නීතිඥ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළේය. ඊට පසු එම තීරණය සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශයක් සංගමය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ තීරණය ගත්තේ අප්‍රේල් 25 වැනිදා කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හැදෑරූ පොලිස් නිලධාරීන්ගේ විසිරයෑමේ උත්සවයේදී ඇමති ටිරාන් අලස් කළ භයානක ප්‍රකාශයකට දැඩි සේ විරෝධය පාන්නටය. ඇමතිවරයා එම විසිරයාමේ උත්සවයේදී කතාකරමින් මෙසේ කීවේය.

‘අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තිබෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා.’

‘මම අමාත්‍යාංශය භාර ගන්නකොට ඔබ සියලු දෙනාම දන්නවා ශ්‍රී ලංකා පොලිසිය වැටිලා තිබුණු තත්ත්වය. අරගලය කාලෙ පොලිස් නිලධාරීන්ට මුහුණ දෙන්න සිදුවී තිබුණු දේවල්. අපි රූපවාහිනියේ දැක්කා. මගේ වගකීම තිබුණේ ඒ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය නඟා සිටුවන්න. මම ඒ වෙලාවේ විශ්වාස කෙරුවා ඔබලා වෙනුවෙන් අපි කෙළින් පෙනී සිටිනවා නම් ඔබ සියලු දෙනාට විශාල වැඩ කොටසක් මේ රටේ කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ වෙලාවේ තීරණය කළේ මගේ පැත්තෙන් කළ යුතු දේ ශ්‍රී ලංකා පොලිසියට කරනවා කියලා. දෙන්න තිබෙන දේවල් දෙන්න. අපි එකපාරක් බටා වැඩි කෙරුවා. ආහාර හා නවාතැන් දීමනාවක් දුන්නා. වාහන දුන්නා.

ඒ සියලු දේ දෙනකොට මට විශ්වාසයක් තිබුණා ශ්‍රී ලංකා පොලිසිය දැන් තිබෙන තත්ත්වයට නඟා සිටුවන්න පුළුවන් වෙයි කියලා. යුක්තිය මෙහෙයුම පටන් ගන්න හේතුව අපේ රට කුඩුවලින් හා පාතාලයෙන් බේරගන්න. අපේ දරු පරපුර බේරගන්න. යුක්තිය මෙහෙයුම පටන් ගන්න කලින් අපි මේක අධ්‍යයනය කළා. වැඩ බලන පොලිස්පති පොලිස්පති කරන්න යම් වෙහෙසක් ගන්න සිදුවුණා. මා දැනගෙන සිටියා එතුමාට කරන්න පුළුවන් මොකක්ද කියලා. ඒ අනුව අපි මෙහෙයුම පටන් ගත්තා.’

‘අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. මම මෙතැන වැඩිය කතා කරන්න ඕනෑ නැහැ. මෙතැන ඉන්න අය මොකක්ද කරන්න ඕනෑ කියා දන්නවා. ඔබ සැම දන්නවා මේ මෝටර් සයිකල් කණ්ඩායමේ අවශ්‍යතාව මොකක්ද කියලා. මේ කණ්ඩායම මදි වුණොත් තව පොලිස් යතුරුපැදි කණ්ඩායමක් පිහිටුවනවා. අපට ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැමදෙයක්ම කළා. මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යෑම පමණයි.

මං අද මේ මෝටර් සයිකල් කණ්ඩායමේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා බය නැතිව අපට යා යුතු ඉලක්කයට යන්න. ඕනෑම හදිස්සි වෙලාවක තමන් අතේ තිබෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවා නම් හරිදේට පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා. ඒ වගේම වැරදි දේවල් කරන අයට විරුද්ධව තදින් ක්‍රියාත්මක වෙනවා.

මේ මෝටර් සයිකල් කණ්ඩායමට තෝරගත් මේ කණ්ඩායම මදි වුණොත් අපි තවත් මෝටර් සයිකල් කණ්ඩායමක් පිහිටුවනවා. අපේ එක ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කය මේ වන විට සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යෑම පමණයි. දෙපාරක් හිතන්න ඕනෑ නෑ මේ රටට කුඩු ගේන, කුඩු විකුණන, පාතාල ක්‍රියාකාරකම් කරන පුද්ගලයන් මේ රටෙන් තුරන් කිරීම පවක් නෙමෙයි. ඒක හොඳට හිතට අරගෙන අද ඉඳන් පොලිස්පතිගේ නායකත්වයෙන් එතුමා දෙන උපදෙස් පරිදි වැඩ කරගෙන ගිහින් අපේ මේ රට හොඳ තැනකට ගෙනයමු.’

ඇමතිවරයාගේ මේ ප්‍රකාශය, නීතියේ පාලනයට දැඩි ලෙස එරෙහිව යන්නක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් කියයි. නිවේදනයෙහි අත්සන් කළ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න හා ලේකම් චරිත් ගල්හේන කියන්නේ, අමාත්‍යවරයා විසින් කරන ලද මිනීමැරුම්, මත්ද්‍රව්‍ය අලෙවිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය තුරන් කිරීම ‘පාපයක් නොවේ’ යන ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාධ්‍ය නිවේදනය මෙසේය.

‘මෑතදී කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා නීතිඥ සංගමය විසින් සම්මත කරන ලද යෝජනාව. 2024 අප්‍රේල් 27 වැනි දින පැවති එහි විධායක සභා රැස්වීමේදී, විවිධ මාධ්‍ය වේදිකා හරහා පුළුල් අවධානය ලැබ ඇති කටුකුරුන්ද එස්ටීඑෆ් පුහුණු කඳවුරේ විසිරයාමේ පෙළපාලියේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව විසින් හෙළා දකින ලදි.

මාධ්‍ය වාර්තාවලට අනුව අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. ‘අපරාධකරුවන් රටින් තුරන් කිරීම පාපයක් නොවෙයි. ඔබේ අතේ ඇති ආයුධය නිවැරදි දේ සඳහා භාවිත කිරීමට බිය නොවන්න, අපි ඔබ සමඟ සිටිමු.’ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කරන අතර, එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික මූලධර්මවලට සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය පාලනය කරන ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට සෘජුවම පටහැනි බව සලකමු. වැරදි කරන්නන්ට දඬුවම් පැනවීම ඇතුළු යුක්තිය පසිඳලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති අධිකරණවල බල සීමාව තුළ පමණක් සිදු විය යුතුය. එවැනි ක්‍රියා නීතියට අනුකූලව පවත්වනු ලබන පරිපූර්ණ විමර්ශන සහ සාධාරණ නඩු විභාග ඇතුළුව නියමිත ක්‍රියාවලියට දැඩි ලෙස අනුගත විය යුතුය.

මෑත කාලයේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් කරන ලද නීති විරෝධී ඝාතන, අත්අඩංගුවේ සිටියදී මරණ සහ වධහිංසා පැමිණවීම්වල භයානක වැඩිවීම සැලකිල්ලට ගත් කල, අමාත්‍යවරයාගේ ප්‍රකාශය යුක්තිය, දඬුවම් සහ දඬුවම් නියම කිරීම, අධිකරණයේ විෂය පථයෙන් ඔබ්බට ගෙන යන අතර, නියමිත ක්‍රියාවලියට අනුගත නොවී, අත්තනෝමතික ලෙස දඬුවම් පැමිණවීම කළ හැකි බවට භයානක වැරදි වැටහීමක් ඇතිකරයි.

අමාත්‍යවරයා විසින් කරන වගකීම් විරහිත, අත්තනෝමතික සහ නොමග යවනසුලු ප්‍රකාශවල නැවත නැවත සිදුවීමේ රටාව, ප්‍රතිශෝධන ක්‍රියාමාර්ගයක හදිසි අවශ්‍යතාව අවධාරණය කරයි. මහජන ආරක්ෂාවේ භාරකරුවෙකු ලෙස අමාත්‍යවරයා මහජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට බැඳී සිටී. කෙසේ වෙතත්, මෙවැනි නොමඟ යවනසුලු පණිවිඩ පුන පුනා ප්‍රචාරය කිරීමෙන් මහජන විශ්වාසය පළුදු වනවා පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කරන්නෝද නොමඟ යැවෙති.

එබැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩිව ඉල්ලා සිටී. ටිරාන් අලස් අමාත්‍යවරයා දණ්ඩමුක්තිය දිරිමත් කරමින් සහ නීතියේ ආධිපත්‍යය ගැන නොසැලකිල්ලෙන් පුන පුනා කරන ප්‍රකාශ මගින් ඔහු තවදුරටත් එම ධුරය දැරීමට සුදුසු නැති බව පෙන්නුම් කරන බැවින් ඔහු වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. තවද, ස්ථාපිත නෛතික ක්‍රියා පටිපාටිවල සීමාවන් තුළ ක්‍රියාත්මක වන දඬුවම් නියම කිරීමේ බලය තනිකරම අධිකරණය වෙත පැවරිය යුතුය යන පරිශුද්ධ මූලධර්මය ශ්‍රී ලංකා නීතිඥ සංගමය නැවත තහවුරු කරයි.

මීට අමතරව, ශිෂ්ට නීති පද්ධති විසින් පිළිපැදිය යුතු නීතිය සහ ජාත්‍යන්තර සම්මුතීන් විසින් සහතික කර ඇති පරිදි, සාධාරණ හා ඉක්මන් විමර්ශනයකට භාජනය වීමට සහ සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමට වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෑම පුද්ගලයෙකුටම ඇති මූලික අයිතිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය නැවත අවධාරණය කරයි.’ (දළ සිංහලානුවාදය, ශ්‍රී ලංකා බී්‍රෆ් වෙබ් අඩවිය වෙතිනි)

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහත මාධ්‍ය නිවේදනය ඉතා බලවත් එකක් වනවා පමණක් නොව, මේ මොහොතේ අත්‍යවශ්‍යම එකක්ද වෙයි.
මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස්, පසුගිය කාලය පුරාම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග හවුලේ ක්‍රියාත්මක කළ විවිධාකාර පියවර විසින් ලංකාවේ නීතියේ පාලනය තදබල ලෙස බිඳ වැටී ඇති බව සාධාරණ මනස් ඇති සියල්ලෝම දනිති. රටේ සාධාරණ වුවමනාවක් වී තිබෙන මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා ඔවුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරන ලද ‘යුක්තිය’ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය මැඬලීම කෙසේ වෙතත්, ඉතා දරුණු පීඩාකාරී පොලිස් රාජ්‍යයක් ලංකාව තුළ බිහිකර තිබේ. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, අත්අඩංගුවට ගැනීමේදී නීතියෙන් නියම කරන ලද ක්‍රියා පටිපාටිය නොසලකා හැරීම්, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, නීති විරෝධී ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම්, පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීම්, අත්තනෝමතික ලෙස පුනරුත්ථාපනයට යොමුකිරීම්, අදාළ නොවන චෝදනා යටතේ පුද්ගලයන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීම් ඇතුළු නීතියේ පාලනය බිඳ වට්ටන විවිධාකාර අපචාර, යුක්තිය මෙහෙයුම තුළ සිදුවන බව පැහැදිලිව පෙනෙයි. අමාත්‍යවරයා කරන්නේ, මේ පොලිස් රාජ්‍යයට අවශ්‍ය රාජ්‍ය රැකවරණය වරින් වර ප්‍රසිද්ධියේ කරන සිය ප්‍රකාශ හා ක්‍රියාකාරිත්වය තුළින් සලසා දීමයි. ඒ ඒ අවස්ථාවලදී ඔහුගේ එම ප්‍රකාශ, රටේ යුක්තිය හා නීතියේ පාලනය ගැන සලකන්නන්ගේ, විශේෂයෙන් නීතිඥ සංගමය ඇතුළු නීතිඥ ප්‍රජාවගේ විවේචනයට හා විරෝධයට ලක්වීම සිදුවිය. එහෙත් ඇමතිවරයා තවමත් නිරුපද්‍රැතය. ඇමති හා පොලිස්පති ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් සැලසුම් සහගතව රටේ සිදුවන නීතියේ පාලනයේ නායයෑම ගැන ජනාධිපතිවරයාටද වගේ වගක් නැත.

ඇමතිවරයා පෙන්වා දෙන්නට හදන්නේ, නීතිඥවරුන් තමන්ගේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගෙන් විශාල මුදලක් අය කරගෙන, ඔවුන් ආරක්‍ෂා කිරීමට බවයි. මේ සතියේ මාධ්‍යවල සමාන වචන හා වාක්‍යවලින් පළවුණු (අතේ පැළ කරන ලද) ප්‍රවෘත්තියකට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගෙන් විශාල මුදලක් ගෙන ඔවුන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන්ගේ නම්ගම් හා අය කළ මුදල හෙළිකිරීමට අලස් ඇමතිවරයා සූදානමින් පසුවන බව ඔහුගේ අමාත්‍යාංශයේ (නම නොදන්නා) ‘උසස් නිලධාරියකු’ මාධ්‍යවලට කියා ඇත. ඔහුගේ මේ විකාර කතා, රටේ නීතියේ පාලනය යනු කුමක්දැයි නොදන්නා සමහර මිනිසුන් විශ්වාස කරන බවද පෙනේ. එහෙත්, නීතියේ පාලනය පවතින රටක, නීතිඥයන් ඕනෑම වරදකට චෝදනා ලැබුවන් වෙනුවෙන් පෙනීසිටිය යුතුය. එය ඔවුන්ගේ වෘත්තීය නියමයකි. ඒ වෙනුවෙන් අයකර ගන්නා මුදල් කොපමණදැයි තීරණය වන්නේ ඒ ඒ නීතිඥවරයාගේ වෘත්තීය තත්වය අනුවය. එහි සීමාවක් පනවා නැත.

ඉදිරියේදී කරන ඔය කියන හෙළිදරව්වට පසුව, ටිරාන් අලස් මහතා පළමුවැනි විත්තිකරු වී සිටි කුප්‍රකට ‘රාඩා’ නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ට කොපමණ මුදලක් ගෙව්වාදැයි යන්නද හෙළිදරව් කිරීමට ටිරාන් අලස් මහතා සූදානම්ද? රාඩා නමැති රාජ්‍ය සමාගම හරහා උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාවට නිවාස සාදාදීමට යැයි කියා රුපියල් මිලියන 124ක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළායැයි ටිරාන් අලස් මහතා පළමු විත්තිකරු කරමින් නීතිපතිවරයා විසින් නඩු පැවරුණේ යහපාලන ආණ්ඩුව කාලයේදීය. එහි දෙවැනි විත්තිකරු වුයේ රාඩා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරියයි. තුන්වැන්නා හිටපු කුප්‍රකට එල්ටීටීඊ ක්‍රියාධරයකු වු එමිල් කාන්තන්ය. හතරවැන්නා ජයන්ත ඩයස් සමරසිංහය. මේ නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 2020දී නිදහස් කරන ලද්දේ, පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකාරියක, තමා පොලිසියට මුලින් දුන් ප්‍රකාශයට සපුරා විරුද්ධ සාක්‍ෂියක් නඩු විභාගයේදී මහාධිකරණය ඉදිරියේ දීම නිසාය. 2019දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් පසු යහපාලන කාලයේදී පවරන ලද බොහෝ නඩුවලදී, සාක්‍ෂිකරුවන් මුලින් පොලිසියට දුන් ප්‍රකාශයට පරස්පර සාක්‍ෂි අධිකරනයේදී දීම නිතර අසන්නට ලැබුණු දෙයකි. එයින් විත්තිකරුවන්ට විරුද්ධව නඩු තවදුරටත් පවත්වාගෙන යන්නට නීතිපතිවරයාට දුෂ්කර විය.

නිදහස් වන විට, ටිරාන් අලස් මහතා පොහොට්ටු පක්‍ෂයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයෙකි. මේ නඩුව පවරා තිබුණේ බොරු චෝදනා පදනම් කරගෙන නම්, එයින් නිදහස් වීමට ටිරාන් අලස් මහතාට නීතිඥ සහාය ලැබීම අත්‍යවශ්‍ය කාරණයකි. ටිරාන් අලස් යනු නීතිය ගැන කිසිවක් නොදන්නා පුද්ගලයකු බැවිනි. ඒ නඩුවෙන් නිදහස් වන්නට සිය නීතිඥයා වූ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවෙහට්ටි ඇතුළු නීතිඥ කණ්ඩායමට අලස් මහතා කීයක් ගාස්තු ගෙව්වාදැයි කියා ඔහු දැන් හෙළිදරව් කරනවාද? අනෙක් අතට, දැන් මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස්ගේ වර්තමාන ම්ලේච්ඡ සිතුවිලිවලට අනුව නම්, රජයේ හා මහජනතාවගේ මුදල් ‘රුපියල් මිලියන 124ක් සාවද්‍ය පරිහරණය නමැති සහගහන අපරාධය’ කළ බවට චෝදනා ලැබූ ටිරාන් අලස් ඇතුළු හතර දෙනාට, නඩු නොඅසාම පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ යුතු නොවේද?

මෑතදී ප්‍රශ්නයට තුඩු දුන් ඇමතිගේ කටුකුරුන්ද ප්‍රකාශයෙන් ඔහු, රටේ පව හා පින තීරණය කරන සර්ව බලධාරියා බවට තමාම පත්කර ගනියි. ඔහු කියන්නේ අපරාධකාරයන් රටෙන් තුරන් කිරීම පවක් නොවන බවයි. අපරාධකාරයන් රටින් තුරන් කිරීම යනු කුමක්ද? ඔවුන් රටින් පිටුවහල් කර වෙනත් රටකට යැවීම නොවේ. ජීවිතයෙන් ඉවත් කිරීමයි. එනම් මරා දැමීමයි. ඒ කියන්නේ පොලිසිය අපරාධකරුවන් මරාදැමිය යුතු බවයි. එහෙත් ලංකාව නීතියේ පාලනය තිබෙන රටක් නම්, දඬුවමක් ලෙස මරණීය දණ්ඩනය පවතින්නේ ඉතාම බරපතළ අපරාධ කිහිපයකට පමණි. මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම වැනි අපරාධ කිහිපයකට පමණි. මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට වඩා සන්තකයේ තබාගැනීම පවා ලංකාවේ නීතිය අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පමණක් ලැබෙන වරදකි. අලස් ඇමතිවරයාට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන මෙම දඬුවම් වුවමනාවට වඩා ලිහිල් බවක් පෙනේ නම් ඔහු කළ යුත්තේ එම දඬුවම් වැඩි කිරීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමයි. එතෙක් පොලිසියත්, අධිකරණයත් ක්‍රියා කළ යුත්තේ පවතින නීතිවලට අනුව හා පවතින දඬුවම් නියමයන්ට අනුවය.

තමන් තීරණය කරන අය මරාදැමීම ම්ලේච්ඡයන්ගේ නැතහොත් ගෝත්‍රිකයන්ගේ පුරුද්දයි. ටිරාන් අලස් මහතා කියන්නේ අපරාධකාරයන් එසේ මරාදැමිය යුතු බවයි. රටෙන් ඉවත් කළ යුතු බවයි. ඒ සඳහා තම අතේ ඇති තුවක්කු බය නැතිව පාවිච්චි කරන ලෙස ඔහු පොලිස් නිලධාරීන්ට කියයි. එවැනි නිලධාරීන් ආරක්‍ෂා කරන බවද ඔහු කියයි. ඒ අර්ථයෙන් බලන කල ටිරාන් අලස් යනු, ලංකාවේ මේ මොහොතේ සිටින ම්ලේච්ඡ හා ගෝත්‍රික මනසක් ඇත්තෙකි. භයානක කාරණය නම්, ඇමතිවරයකු හැටියට ඔහුට, 80,000ක් පමණ වන පොලිස් නිලධාරීන් පිරිසක්, ගිනිඅවි ඇතුළු මර්දන උපකරණ සමග භාර දී තිබීමයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ මේ ම්ලේච්ඡ හා ගෝත්‍රික මනසක් ඇති පුද්ගලයා වෙතින් රටේ මහජන ආරක්‍ෂාව බාර ඇමතිධුරය ඉවත් කළ යුතු බවයි. ඒ සඳහා සියලු බලය ඇත්තේ ජනාධිපතිවරයා අතය. ලංකාව තුළත්, ජාත්‍යන්තරවත්, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ෆෝරම තුළත් පුළුල් ලෙස අවමානයට හා විරෝධයට පාත්‍ර වී ඇති ටිරාන් අලස් මහතාගේ ම්ලේච්ඡ ප්‍රකාශ නිසා, ඔහු කිසිසේත් මහජන ආරක්‍ෂාව වැනි වගකිව යුතු ඇමතිධුරයක් දැරීමට සුදුස්සෙකු වන්නේ නැත. එහෙත්, රටේ ජනාධිපති, මානව හිමිකම් වෙනුවෙන් කැපවී සිටිනවායැයි කියන රනිල් වික්‍රමසිංහ මහතාට මේ නීතියේ පාලනයේ බිඳවැටීම ගැන සැලකිල්ලක් නැත. ඊට හේතුව වන්නේ, ඉදිරි ජනාධිපතිවරණ තරගයේදී ටිරාන් අලස් ඔහු සමග සිටගෙන සිටීමත්, අලස්ගේ මුදල්වලින් එම මැතිවරණ ප්‍රචාරයට සෑහෙන සහායක් ලබාගත හැකිවීමත්ය. මේ වන විට ටිරාන් අලස් යනු ජනාධිපති වික්‍රමසිංහගේ කුස්සි කැබිනෙට්ටුවේ සාමාජිකයෙකුද බව පෙනෙයි.

නීති විරෝධී ලෙස ගිනි අවි පත්තු කර පුද්ගලයන් මරාදමන පොලිස් නිලධාරීන් ආරක්‍ෂා කිරීම ටිරාන් අලස් පමණක් නොව, පසුගිය කාලය පුරා සියලු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් සිදුවුණු දෙයකි. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකාරයකු මරාදැමීමට පොලිසියට අවශ්‍ය විට, ඔවුන් ආයුධ පෙන්වන්නට රැගෙන ගොස් කිසිදු පිටස්තර සාක්‍ෂියක් නැති තැනකදී ඔහු මරාදැමීම පොලිසිය පුරුද්දක් ලෙස පසුගිය කාලයේ කරගෙන ආවේය. පොලිසියේ රඳවාගෙන සිටි මාකඳුරේ මධුෂ් වැනි ඉතාම ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සැකකරුවකු හා අපරාධ සැකකරුවකු (ඔහු ඩුබායි සිට ලංකාවට ගෙන්වා ගත්තේ මහත් අසීරු පරිශ්‍රමයකින් පසුවය.) පවා මේ ක්‍රමයට මරාදැමීමට පොලිසිය පසුබට වුණේ නැත. මේ නිසා, පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන්, ආයුධ පෙන්වීම සඳහා පිටතට ගෙන නොයන ලෙස නියෝගයන් කරන්නැයි ඉල්ලමින් එවැනි සැකකරුවන්ගේ සමීපතමයන්ට ඉහළ උසාවිවලට පවා යන්නට සිදුවන තත්වයක් රටේ ඇතිවිණි. පොලිසියෙන් ඝාතනය කරන ලද සැකකරුවන්ගේ මරණ, ‘ආත්මාරක්‍ෂාව සඳහා පොලිසිය විසින් කරන ලද වෙඩිතැබීමකදී සිදුවුණු නීත්‍යනුකූල ඝාතන’ බවට මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද නිගමනය ලැබීම දිගටම සිදුවෙයි. මහජන ආරක්‍ෂක ඇමතිවරයා කියන පරිදි ‘අපි ඔබව ආරක්‍ෂා කරනවා’ යන්නෙහි තේරුම මේ මුළු ක්‍රියාදාමය සිදුවීමයි.

පුද්ගලයන් හිතුමතේ වෙඩි තබා මරාදැමීම පවක්දැයි පිනක්දැයි තීරණය කරන්නට ව්‍යාපාරිකයකු වන ටිරාන් අලස්ට අධිකාරි බලයක් නැත. එවැනි නීති විරෝධී දේ කරන්නට පොලිසිය පෙළඹවීමත්, එවැනි දේ කරන පොලිස් නිලධාරීන් ආරක්‍ෂා කරන බව කීමත්, රටේ නීතියේ පාලනයට මහත් විනය කැටීමකි. නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ එවැනි දේ ශිෂ්ට රටක නොසිදුවිය යුතුය කියාය. නීතිඥ සංගමය ආරම්භයේ සිටම පෙනීසිටියේ අපරාධකරුවන් ආරක්‍ෂා කරගන්නට නොව, රටේ යුක්තිය, සාධාරණය හා නීතියේ පාලනය ආරක්‍ෂා කරගන්නටය. ටිරාන් අලස් යනු මේ මොහොතේ රටේ නීතියේ පාලනය කාදමන ම්ලේච්ඡ මනසක් ඇත්තෙකි. ඔහු වැනි පුද්ගලයකුට රටේ මහජන ආරක්‍ෂාව 2020දී බාරදීමෙන් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අගමැති රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වන්නට ඇත්තේද මෙවැනි හැසිරීමකි. අද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස ටිරාන් අලස් සුරතල් කරමින් සිටින්නේද ඒ අවශ්‍යතාව ඔහුට තිබෙන නිසාය.

කේ.ඩබ්ලිව්. ජනරංජන
උපුටාගැනීම – www.anidda.com