තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා, ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් යළි තරයේ ප්‍රතික්ෂේප කළ මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනෙවිය සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් මැයි මස 8 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව අධිකරණ සේප්පුවේ සුරක්ෂිතව තබන ලෙසට ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (24) මැදවච්චිය අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී.

මේ අතර සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් පළමු සාක්ෂිකරු වන දිලීෂ සංගීත් සහ දෙවැනි සාක්ෂිකරු වන මලීෂ පියසිරි යන දෙදෙනා විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පහසුවෙන් හඳුනාගනු ලැබුවා.

මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් පොලිස් නිලධාරීන් වීම නිසා විමර්ශනවලට අදාළ පැමිණිල්ලේ ප්‍රකාශ සටහන් කර ගැනීමට යම් බාධාවක් මෙන්ම ප්‍රකාශ ලබා දීමට ඇතැමුන් මැලිකමක් දක්වන බවයි.

නිරීක්ෂණ පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දැක්වූ කරුණු කෙරෙහි විමර්ශනවලදී අවධානය යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කෙරුණා.

ඉකුත් 7 වැනි දින මෙම පහර දීම සිදු කර ඇති බව කියනුයේ මැදවච්චිය, මන්නාරම පාරේ මැදවච්චිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදීයි.

පහර කෑමට ලක් වූ දිලීෂ සංගීත් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජන කර ඔහුගේ එක් වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.

උපුටාගැනීම – www.news19.lk