1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සාමාන්‍යයෙන් දාහක රැඳවියන් පිරිසක් තබා ගත හැකි බන්ධනාගාර ස්ථානවල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවත්, කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත.

බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල්කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

‘අපි අද දිනයේ කොළඹ ප්‍රධාන බන්ධනාගාරයේත්, ඒ වගේම මැගසින් බන්ධනාගාරයෙත් රිමාන්ඩ් රැඳවියන් පරික්ෂා කිරීමට ගියා. ඉතාම කණගාටුදායක තත්ත්වය ඇතුළේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් දාහකට පමණ ඉඩ තියෙන තැන පන්දාහකට අධික පිරිසක් රිමාන්ඩ් ගත වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් මේ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත්ත අය. සමහර අය අවුරුද්දකටත් වැඩි කාලයක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ වාර්තා නිකුත් වෙලා නෑ. රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය වගේම නඩු පමාවීම ආදිය නිසා එහෙම කොටු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඇප ලැබුනත් ඇප ගෙවා ගන්න බැරුව තවත් පිරිසකුත් ඉන්නවා.

ඉතින් මං හිතන්නේ බන්ධනාගාර ඇතුලේ තත්ත්වය ඉතාමත්ම නරකයි. මටත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා මෙතන. ඉතින් ඒක නිසා අපි බොහොම පැහැදිලිව රජයෙන් ඉල්ලා සිටිනවා, නිකන් මිනිස්සු ගාල් කරන්නේ නැතුව වැරදිවලට විධිමත් ආකාරයට කටයුතු කරන්න කියලා.

එහෙම නැතුව අච්චර ගානක් අත්අඩංගුවට ගනියි, මෙච්චර ගාණක් අත්අඩංගුවට ගනියි කියලා කරලා මේකේ තේරුමක් නෑ. එහෙම මත්ද්‍රව්‍ය රටේ අඩු වෙලත් නෑ. පාතාල ලෝකේ මර්දනය වෙලත් නෑ. ඒක අපිට රට පුරා වෙඩි පත්තු වෙන එකෙන් පේනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කරන්නත්, ඒ වගේම ඇප ලබාදීමේ ක්‍රියාවලිය විදිමත් කරන්නත් කටයුතු කළ යුතුයි’