කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම: ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලීමෙන් ‘වරද නිවැරදි වෙයි ද?’

කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම: ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලීමෙන් ‘වරද නිවැරදි වෙයි ද?’

පළමු කොවිඩ් රැල්ලේදී මුස්ලිම් වැසියන් 17 දෙනෙකු සහ ඉන්පසු තවත් මුස්ලිම් වැසියන් 353 දෙනෙකු කොවිඩ් වැළදීමෙන් මිය ගිය අතර, ඔවුන් මුස්ලිම් ආගමික සම්ප්‍රදාය අනුව මිහිදන් කිරීමට නොහැකි වූ බව මුස්ලිම් මරණ සම්බන්ධයෙන් කටයුතු කරන සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් ඉස්මත් පැවසීය.

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාව පීඩා විඳි සමයේ එවක පැවති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය “කොවිඩ් 19 වැළඳීමෙන් මිය ගිය මුස්ලිම් වැසියන්ගේ මළ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට ගත් තීන්දුවෙන් මුස්ලිම් ප්‍රජාවට සිදුවූ පීඩාව සම්බන්ධයෙන් විධිමත් ලෙස සමාව අයැදීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන,” බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් හැටන් නගරයේ පැවති ඉෆ්තාර් උත්සවයකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය මනූෂ නානායක්කාර ගාල්ලේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ, නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි මුස්ලිම් වැසියන්ගේ මළ සිරුරු භූමදානය කිරීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි නීති සම්පාදනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව ය.

“ජනාධිපතිතුමා තීන්දු කළා, මේ සම්බන්ධයෙන් නැවතත් ඕනෑ ම අවස්ථාවකදී මේ රටේ මුස්ලිම් මෘත දේහයක් පිළිබඳ තීරණ ගැනීමේදී එවෙලෙට එවෙලට තීන්දු ගන්නෙ නැතුව, ඒ අයගේ සංස්කෘතියට අනුව නිශ්චිත වශයෙන් ම භූමදානය කිරීමට අදාළ නීතිය සම්පාදනය කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරනවා. ඒ කැබිනට් පත්‍රිකාව නුදුරු දිනයකදී ම එනවා,” යනුවෙන් මනූෂ නානායක්කාර පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදු වූ දෙවන කොවිඩ් මරණය ලෙස සැලකෙන මීගමුව, කොච්චිකඩේ, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 64 වියේ පසුවූ ජමාල් කාකා මිය ගියේ, මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. එම මරණය වාර්තා වූයේ, 2020 මාර්තු මස 30 වන දා ය. මිය ගිය ජමාල්ගේ පුත්‍රයෙකු වූ මොහොමඩ් කියාස් සිය පියාගේ අවසන් කටයුතු මුස්ලිම් සංස්කෘතියට අනුව ගෞරවණීය ලෙස සිදු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් තවමත් පසු වන්නේ, කම්පනයකිනි.

“වැඩක් නෑ මහත්තයා. තාත්තාට අවසන් ගෞරව දක්වන්න බැරි වුණා. අපේ ආගම අනුව මිනියක් වෙනස් කරන්නවත්, එම්බාම් කරන්නවත්, පුච්චන්නවත් බෑ. ඒත් අපේ තාත්තාට ඒක උරුම නැති වුණා. දැන් කොච්චර සමාව ඉල්ලුවත් වැඩක් තියෙනවා ද? ලෝකෙ අනිත් කිසිම රටක නොකරපු වැඩක් මෙහේ කළේ. දැන් ඒ ගැන කතා කරල වැඩක් නෑ,” මොහොමඩ් කියාස් බීබීසී සිංහල සේවයට පැවසුවේ, කලකිරුණු ස්වරයකිනි.

පළමු කොවිඩ් රැල්ලේදී මුස්ලිම් වැසියන් 17 දෙනෙකු සහ ඉන්පසු තවත් මුස්ලිම් වැසියන් 353 දෙනෙකු කොවිඩ් වැළදීමෙන් මිය ගිය අතර, ඔවුන් මුස්ලිම් ආගමික සම්ප්‍රදාය අනුව මිහිදන් කිරීමට නොහැකි වූ බව මුස්ලිම් මරණ සම්බන්ධයෙන් කටයුතු කරන සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් ඉස්මත් පැවසීය.

මේ අතර, 2021 වසරේ මාර්තු 05 වන දා කොවිඩ් මළ සිරුරු ඔට්ටමාවඩි ප්‍රදේශයේ සුසාන භූමියක තැන්පත් කිරීමට අවසර දෙනු ලැබූ අතර, එහි මුස්ලිම් වැසියන්ගේ මළ සිරුරු 2800ක් පමණ භූමදානය කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කොවිඩ් මළ සිරුරු පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි සුසාන භූමියක පැය 24ක් ඇතුළත මිහිදන් කිරීමට රජය අවසර දුන්නේ, 2022 මාර්තු 05 වන දා ය.

කොරෝනා වෛරසය වැළදීමෙන් පසු මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු මිහිදන් කිරීම මගින් සහ මළ සිරුරු සේදීම මගින් කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි බවට එවකට පිහිටුවා තිබූ මහාචාර්ය මෙත්තිකා විතානගේ ප්‍රමුඛ කමිටුවකින් නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත්, එය එසේ නොවන බවට මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු තවත් පිරිසක් පෙන්වා දුන්හ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි ලොව පුරා රටවල් 190කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය හෝ මිහිදන් කළ අතර, කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් තැනැත්තන්ගේ සිරුරු සියල්ල ආදාහනය කළ යුතු බවට ශ්‍රී ලංකාව දැඩි ස්ථාවරයක් අනුගමනය කළේ ය. එසේ සියලු කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කිරීමට තීරණය කළේ, මිහිදන් කළහොත් මළසිරුවලින් වෛරසය භූගත ජලයට පැතිරිය හැකි බවට අදාළ විශේෂඥ කමිටුව විසින් කරන ලද නිර්දේශයක් පදනම් කර ගනිමින් බව එවකට පැවති ශ්‍රී ලංකා ආණ්ඩුව නිවේදනය කළේ ය.

එම විශේෂඥ කමිටුවේ සාමාජිකාවක වූ මහාචාර්ය මෙත්තිකා විතානගේ මේ සම්බන්ධයෙන් දැන් දරන අදහස මෙසේ ය.

“අධිකරණ වෛද්‍ය නිලධාරීන් විශාල පිරිසක් හිටියා ඒ කමිටුවේ. ඔවුන් තමයි කිව්වේ මළ සිරුරු මිහිදන් කළොත් කොරෝනා වෛරසය ජලය හරහා ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. ඔවුන් වැඩි දෙනෙක් ඒ මතයේ හිටිය නිසා අපි තීන්දු කළා ඒක නිර්දේශ කරන්න. ඒ ගැන මාධ්‍යවලට කියන්න වුණේ මට. ඒ නිසා මට හැමෝම බනින්න ගත්තා. ඒක මගේ උවමනාවට කරපු දෙයක් නෙවෙයි,” මහාචාර්ය මෙත්තිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ අතර, කොවිඩ් යනු ජලයෙන් බෝවන රෝගයක් නොවන බව වෛරස් විද්‍යා විශේෂඥ මහාචාර්ය මලික් පීරිස් බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී 2020 වසරේ දෙසැම්බර් මාසයේදී පෙන්වා දී තිබිණි.

“මුස්ලිම් ආගමික සම්ප්‍රදාය අනුව මෘත දේහකයට දෙන්න පුළුවන් ලොකු ම ගෞරවය තමයි, ඒ මළ සිරුර පිරිසුදු කරලා කිසිදු වෙනසක් නොකර පැය 24ක් ඇතුළත භූමදානය කරන එක. ඒ කාලෙ තිබුණ ආණ්ඩුව කිසි ම පදනමක් නැතුව අපට අහිමි කළේ අපේ අන්න ඒ සම්ප්‍රදාය. අපේ ඥාතීන්ගේ මිනී පුච්චනකොට අපට දැනුණෙ අපිව පුච්චනවා වගේ වේදනාවෙන් පිරිච්ච හැඟීමක්. ඒක විස්තර කරන්න වචන නෑ,” බීබීසී සිංහල සේවය සමග එලෙස පැවසුවේ, වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ පසුව නිදොස් කොට නිදහස් වූ වෛද්‍ය ෂාෆි සහාබ්ඩීන් ය.

ඔහු ප්‍රකාශ කළේ, බොහෝ අවස්ථාවල පැවති රජයයන් මුස්ලිම් වැසියන් ඔවුන්ගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ බව ය.

“ඒ කාලේ ජනාධිපතිවරයා මුස්ලිම් අපට රිද්දවලා බෞද්ධ ජනතාව සතුටු කරන්න හිතාගෙන වෙන්න ඇති, භූමදානය තහනම් කළේ. එහෙම හිතන්න සාධාරණ හේතු අපට තියෙනවා. දැන් ඉන්න ජනාධිපතිතුමා සමහර විට ඉදිරි මැතිවරණයකදී මුස්ලිම් වැසියන්ගේ ඡන්දය අරමුණු කරගෙන සමාව ඉල්ලනවා වෙන්න පුළුවන්. දැන් ඇත්තට ම ඒකට සමාව ඉල්ලලා වැඩක් නෑ. ශරීරයට තුවාල කළා ම ඒක කොහොම හරි සුව කරන්න පුළුවන්. ඒත් හිතේ ඇති වුණ තුවාල සුව කරන එක ලේසි නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ විතරයි නැත්තේ. ඒ තීන්දු ගත්ත පවිත්‍රා වන්නිආරච්චිලා ආණ්ඩුවේ ඉන්නවා,” වෛද්‍ය ෂාෆි වැඩිදුරටත් පැවසීය. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මුස්ලිම් ප්‍රජාවගේ සම්ප්‍රදායට බලපෑම් කළ රජයක් වසර ගණනකට පසු හදිසියේ සමාව ඉල්ලීමට උත්සහ කිරීම සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

“දැන් මුස්ලිම් ප්‍රජාවට වෙන්න ඕන හානිය වෙලා ඉවර යි. වරදක් කරලා සමාව ඉල්ලුවා ම ඒ වරද නිවැරදි වෙන්නෙ නෑ. ඒ සමාව ඉල්ලීම යහපත් චේතනාවෙන් කරන දෙයක් ද කියන සැකය අප තුළ තියෙනවා. ඒත් මුස්ලිම් ප්‍රජාව ඒකට කොහොම ප්‍රතිචාර දක්වයි ද කියල නම් කියන්න අමාරු යි.”

“වසර ගණනකට පෙර කරන ලද වරදකට සමාව ඉල්ලා සිටීමෙන් ඉන් සිදුවූ හානිය යථා තත්ත්වයට පත් නොවන,” බව ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, “දැන් කළ යුතු හොඳ ම දෙය වන්නේ එවැන්නක් ඉදිරියේදී සිදු නොවන ආකාරයට අවශ්‍ය පියවර ගැනීම,” බව ය.

“සමාව ඉල්ලීමකින් මුස්ලිම් ජනතාවට ඇති වුණ පීඩාව නැති වෙයි කියල හිතන්න අමාරු යි. සමහර විට සමාව ඉල්ලීම හරහා ආණ්ඩුව තවත් අප්‍රසාදය පත්වෙන්න ඉඩකඩකුත් තියෙනවා. මොක ද විරුද්ධ පාර්ශව ඕක තමන්ට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් කරන්න තියෙන හොඳ ම දේ තමයි, ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවට පීඩාවක් ඇති නොවෙන ආකාරයට සුදුසු පියවර ගන්න එක. එහෙම කළොත් ආණ්ඩුව ගැන මුස්ලිම් ප්‍රජාව අතරේ විශ්වාසයක් ගොඩ නැගෙයි.”

උපුටාගැනීම – බීබීසී සිංහල