බෙලිඅත්ත සමූහ ඝාතනය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුය..!

බෙලිඅත්ත සමූහ ඝාතනය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුය..!

තංගල්ල, බෙලිඅත්ත කොළඹ අධිවේගී මාර්ගයේ පිටවීම අසල වෙළඳසැලක් ඉදිරිපිට දී පසුගිය 22 දා උදෑසන 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුවුණ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 4 දෙනෙක් එම ස්ථානයේදීමද තවත් පුද්ගලයෙක් බෙලිඅත්ත රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවද ජීවිතක්ෂයට පත්ව ඇත.

දැන් හෙළිවී ඇති ආකාරයට අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 05 දෙනෙකු නඩු විභාගයකට සහභාගී වීම සඳහා සුදුපැහැ ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක තංගල්ල උසාවිය වෙත යමින් සිට ඇති අතර ඔවුන් ලුහුබැඳ පැමිණි ප්‍රඩෝ වර්ගයේ ජීප් රථයක සිටි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත.

මෙම සමූහ ඝාතනය, අපේ ජනබල පක්ෂය සහ එහි නායකයන් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය, සමහර නායකයන් පැහැරගැනීමට ලක්වූ ආකාරය, එම පැහැර ගැනීම් සඳහා පොලීසියේ ඉහළ නිළධාරීන් ලබාදුන් සහාය වැනි කරුණු කාරණාවල දිගුවක් ද යන්න සාකච්ඡා වෙමෙන් ඇත. එසේ නැතිනම් මෙය හුදු පාතාල සාමාජිකයන් අතර ගැටුමක් පමණද?

‘යුක්තිය’ නමින් පොලිස් මෙහෙයුමක් සිදුවෙමින් තිබෙන අවස්ථාවක මෙසේ චිකාගෝ ක්‍රමයට මිනී මැරීම අප තේරුන් ගන්නේ කෙසේද? මෙම පස් පුද්ගල ඝාතනයෙන් පසු පොලීසියත් සසලව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සමූහ ඝාතනය පිළිබඳව තැබූ මාධ්‍ය සාකච්ඡාවෙන් පෙනෙයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයද මෙම සමූහ ඝාතන සිදුවීම පිළිබඳව අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන සුළු විමර්ශනයක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.

මෙම සමූහ ඝාතනය තුළ ඝාතනයට ලක්වූ අපේ ජනබල පක්ෂයේ නායකයාගේ නිවස එම ඝාතනය සිදුවූ දිනයේදීම හවස පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කළ අතර එම සිදුවීමට ද විශාල මාධ්‍ය ප්‍රචාරණයක් දෙනු පෙනුනි. එම පරීක්ෂා කිරීම ‘යුක්තිය’ මෙහෙයුමේ වැඩක් ද? නැතිනම් මෙම ඝාතන විමර්ෂනයේම කොටසක්ද? පොලීසිය පැහැදිලි කළ යුතුය.