පොලිස් විශේෂ කාර්ය බලකායේ උණ්ඩයකින් තවත් ඝාතනයක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ උණ්ඩයකින් තවත් ඝාතනයක්

දෙදරු පියෙකු වන හේන්ගොඩගේ සංජීව ප්‍රේමකුමාර සිල්වා යන අය 2023.10.10 දින සවස නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු නැවත නොපැමිණීම නිසා ඔහුගේ බිරිද වන චන්දිමා දිල්රුක්ෂි මොරන්තුඩුව පොලිසියට පැමිණිලි කර තිබේ. කෙසේවුවද තම සැමියා ගැන සොයාබැලීමේ වුවමනාවෙන් ඔහු නිතර යන එන බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි නිවසකට ගියවිට තම සැමියාට අයත් AAJ 9214 ත්‍රිරෝද රථය එම ස්ථානයේ නවතා ඇති බව ඇයට දැකගැනීමට හැකිව තිබේ. එසේම තම සැමියාගේ කටහඩ එම නිවස තුළින් ඇයට ඇසී තිබේ. එම නිවස තුළින් තම ස්වාමියාට තර්ජනය කරමින් කට වහපන් යනුවෙන් කිසිවකු ප්‍රකාශ කරන බව ද ඇයට ඇසී තිබේ.

පසුව චන්දිමා දිල්රුක්ෂි මොරන්තුඩුව පොලීසියට ගිය විට බණ්ඩාරගම පොලීසියට ගොස් පැමිණිලි කරන ලෙස උපදෙස් දී තිබේ. බණ්ඩාරගම පොලීසිය විසින් ඔවුන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් දක්වා නැත. පසුදා පාන්දර 2 වන තුරු පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. පසුව බණ්ඩාරගම පොලිසියේ නිළධාරීන් තිදෙනෙකු සමඟ චන්දිමා සැක සහිත නිවසට ගිය විට එම නිවස තුළින් පුද්ගලයන් තිදෙනෙකු එළියට පැමිණ ඇති අතර එම තිදෙනාම හැදුනුම්පත් ඉදිරිපත් කර ඔවුන් පොලිස් නිළධාරීන් බව චන්දිමා දිල්රුක්ෂිට ප්‍රකාශ කර තිබේ. පසුව බණ්ඩාරගම පොලිසියෙන් පැමිණි නිළධාරීන් ද නිවසට ගොස් දොර වසාගෙන තිබේ. ඉන් ටික වේලාවකට පසු බන්ඩාරගම පොලීසියෙන් පැමිණි එක් නිළධාරියෙක් චන්දිමාට පවසා තිබෙන්නේ ස්වාමි පුරුෂයා එම නිවසේ නැති බවත් එම ස්ථානයෙන් පිටවන ලෙසත් ය.

පසුව සංජීව ප්‍රේමකුමාර සිල්වා යන අයගේ මියගිය සිරුර 2023.10.12 දින ගාල්ලේ ප්‍රදේශයකින් හමුව තිබේ. එසේම, මාධ්‍යයෙන් ප්‍රචාරය වී තිබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංජීව පුෂ්පකුමාර මියගොස් ඇති බවයි.
භයානක අපරාධයක් සැඟවීමට බණ්ඩාරගම පොලීසිය උත්සහ දරා ඇති බව මෙම සිද්ධියේ කරුණු අනුව පැහැදිළිව පෙනී යයි. මෙම සිදුවීම සම්බන්ධව චන්දිමා දිල්රුක්ෂි ඊයේ දින සිරකරු අයිතිවාසිකම් කමිටුව දැනුවත් කරන ලදී. ඒ අනුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සියලු තොරතුරු අනාවරණය කරන ලදී.

අධිකරණ මාර්ගයෙන් පිට කිසිදු පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ (extra-judicial killing) බලයක් කිසිදු පුද්ගලයෙකුට නැතැයි විශ්වාස කරන අප නිවැරදි අධිකරණ ක්‍රියාමාර්ගයක් තුළින් පමණක් පුද්ගලයෙකුට දඩුවම් දීමේ අවශ්‍යතාවය බරපතල ලෙස විශ්වාස කරමු.
මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර ඝාතකයන් නීතිය හමුවට පමුණුවන ලෙස පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසමට ලබන සදුදා (2023.10.16) දින ඉදිරිපත් කිරීමට සිරකරු අයිතිවාසිකම් කමිටුව කටයුතු කරයි. ඉදිරි පරීක්ෂණ කටයුතු අධ්‍යනය කර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ක්‍රියාකරනු ඇත.