අධිකරණ නියෝග නොතකා මහර බන්ධනාගාර ඝාතකයෝ තවම නිදැල්ලේ – ජයනි අබේසේකර

අධිකරණ නියෝග නොතකා මහර බන්ධනාගාර ඝාතකයෝ තවම නිදැල්ලේ – ජයනි අබේසේකර

“මට කිසිම වන්දියක් ඕන නෑ මිස්. මට ඕන මගේ මනුස්සයාට, අපිට වෙච්ච අසාධාරණේට සාධාරණයක්. මම ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒත් මම බලන් ඉන්නේ මොකක්ද ඒ මරණයට වෙන සාධාරණේ කියල…”

ඇය නමින් එම්. ජී ලසන්ති ය. මහර බන්ධනාගාර ගැටුමේදි වෙඩි වැදී මිය ගිය සිරකරුවන් 11 දෙනා අතර සිටි සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමරගේ බිරිඳ ය. පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නාව සිටි ඇගේ සැමියා, රාජ්‍යය බාරයේ සිටියදි මරා දැමුණු කළ දරුවන් හා ජීවිතය සරිකර ගන්නට ඇය වෙහෙසෙන්නීය.

“මට දරුවෝ තුන්දෙනෙක්. ලොකුම දුවට අවුරුදු 11ක්. පුතාලා දෙන්නට අවුරුදු 8යි 6යි. මම දරුවෝ තුන්දෙනා එක්ක බෝඩින් කාමරේක ජීවත් වෙන්නෙ. ගෙවල්වල වැඩකරල, හදුන්කූරු විකුණලා බෝඩින් ගාස්තු ගෙවා ගෙන දරුවන්ගේ උවමනා එපාකම් පිරිමහන්නේ. කොච්චර ඇඟ පත අමාරු දැනුනත් මම ඇවිද්දොත් තමයි දරුවොන්ගේ බඩ පිරෙන්නේ… ඉස්කෝලේ යන්නේ…”

රැඳවියන්ගේ ඉල්ලීම්

2020 නොවැම්බර් 29 වෙනි දින මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය අවසන් වූයේ සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසක් තුවාල ලබමින්ය. ඒ ගෝලීය කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළට සම්ප්‍රේෂණය වීමත් සමගම තම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා සිටිමින් රැඳවියන් බන්ධනාගාර වහළය මතට නැගී විරෝධතා දැක්වීම දුර දිග යෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන් අතරැඳි සටන් පුවරුවල දක්නට ලැබුණේ, “බලධාරීන් සවන්දෙන්න. VIP වරුන්ට උසාවි ඇරේ සිරකරුවන්ට උසාවි වැසේ! සියලුම නඩු කඩිනම් කරන්න. දෙන සමාව පොදුවේ ලබාදෙන්න. සිව්වස් සමාලෝචනය ලබා දෙන්න,” යන වැකිය.

මහර බන්ධනාගාරයේ ඇති වූ මෙම වෙඩි තැබීමෙන්, අලංකාර දේවගේ අමිත් සුබසිංහ, ඇරැව්වලගේ බවන්ත මහින්ද, වැලිකල විදානෙලාගේ කවිඳු සුළක්ෂණ විතානගේ, යකුපිටියගේ රසික හර්ෂණ කාරියවසම්, විතානගේ අවිශ්ක මල්ශාන්, හෙට්ටිආරච්චිගේ ලහිරු නිමන්ත, සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්පකුමාර, ඉන්දික පුෂ්ප කුමාර, සරණප්‍රිය ජයසේකර පටබැඳිගේ සුමිත් කුමාර, සුදු දේවගේ ප්‍රදීප් අතුල කුමාර සහ මාලන් ක්‍රේග් යන රැඳවියන් මිය ගියහ.

මියගිය රැඳවියන් අතුරෙන් අට දෙනෙකු කොවිඩ් ආසාදිත බවට පීසීආර් පරීක්ෂණ මඟින් හඳුනාගෙන තිබුණි.

මහේස්ත්‍රාත් නියෝගය

මෙම මරණයන්ට හේතුන් සම්බන්ධයෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන ගේ නියෝගය පසුගිය අප්‍රේල් 26 වැනිදාවේ නිකුත් කරන ලදී. මෙම මරණ සිදුවීම සම්බන්ධයෙන් එකල මතුව තිබු කරුණු අතර, රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාව කඩා එහි ඖෂධ භාවිත කිරීම නිසා කලහකාරී ලෙස හැසිරීම නිසා අවම බලය යොදා රැඳවියන්ගේ දණහිසෙන් පහළට වෙඩි තැබූ බවත් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සඳහන් කළ ආකාරයට සිරකරුවෝද මනුෂ්‍යයෝ ය යන කැටයම සහිත ප්‍රදේශයේ සිට පමණක් වෙඩි තැබීම කළ බවට කරන ලද ප්‍රකාශත් අධිකරණයට පිළිගත නොහැකි බවට ගරු මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන ගේ නියෝගයේ පැහැදිලිව සඳහන් ව ඇත.

“මෙම මරණකරුවන් 11 දෙනාගේම මරණ සිදුවී ඇති ආකාරය අනුව සහ මෙම නඩුවේදී වෙඩි වැදුන තුවාල ලැබූ රැදවියන් විසින් සාක්ෂි ලබා දී ඇති ආකාරයට බන්ධනාගාර අධිකාරීවරයා විසින් දණ හිසෙන් පහලට වෙඩි තබමින් අවම බලයක් යොදා රැදවියන් සන්සුන් කර පාලනය කිරීමට ගන්න ලද මානුෂීය මෙහෙයුමක් බවට මෙම තත්ත්වය පෙනී නොයයි.”

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අධිකරණය ගොනු කර ඇති 2021.03.18 දිනැති වැඩිදුර වාර්තාවේ සදහන් වී ඇති පරිදි බන්ධනාගාර රෝහලේ මානසික වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයන්ට අනුව එම ඖෂධ භාවිතා කිරීමෙන් ක්‍රියාකාරී තත්ත්වය හීනවීමක් මිස ආවේගශීලී තත්ත්වයක් ඇති නොවන බවට අනාවරණය කරගෙන ඇත.”

“බන්ධනාගාර අධිකාරීවරයා විසින් “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” යන කැටයම පිහිටි ප්‍රදේශයේ සිට පමණක් වෙඩි තැබීම සිදු කරන ලද බවට සඳහන් කර ඇති නමුදු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේදී බන්ධනාගාරයේ විවිධ ස්ථානවල සිට බන්ධනාගාර නිලධාරීන් විසින් ගිනි අවි පත්තු කර ඇති බවට අනාවරණය කර ගෙන ඇත.”

ඒ අනුව, “මෙම මරණයන් සම්බන්ධයෙන් බැලූ බැල්මට අපරාධයක් බවට සාධාරණ සැකයක් උද්ගතවී ඇති බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව සුදුසු කඩිනම් පියවර ගෙන මීට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කරමි.”

එහෙත් මේ දක්වා මෙම නියෝගය ක්‍රියාත්මක වී නැත.

දණහිසෙන් ඉහළ ද පහළ ද?

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නගෙන් මේ සම්බන්ධව මා කළ විමසීමේදි ඔහු අවධාරණය කලේ, “දණහිසෙන් ඉහළට වගේම දණහිසෙන් පහළට වෙඩි වැදුණ විශාල පිරිසකුත් එම සිදුවීමෙහි සිටි බවයි.”

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න“මේ සිදුවීම් වෙන්නේ රාජකාරීමය වශයෙන් බන්ධනාගාර නිලධාරීන්ට ලබා දුන්න ගිනි අවිවලින් මිස වෙනත් අනවසර ගිනි අවි වලින් නෙවෙයි. බන්ධනාගාර නිලධාරීන්ට ඒ විදියට ගිනි අවි නිකුත් කරල තියෙන්නෙම මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වෙන්න පුලුවන් නිසා කියන පූර්ව නිගමනයෙන්. වගකිව යුතු නිලධාරීන්ට මෙවැනි ගැටුම්කාරී තත්ත්වයකදි ඔවුන්ට දීලා තියෙන බලය භාවිතා කරන්න නොහැකි නම් ඒකත් විශාල ප්‍රශ්නයක්. රටේ ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්න ඉන්න නිලධාරීන්ට ඒ බලය යොදවන්න නොහැකි වෙනවා නම් ඒක සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම කඩා වැටීමට හේතු වෙනවා. ඒ නිසා මේ සියලු තත්ත්වයන් පිළිබඳ නිසි පරීක්ෂණයක් කරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට අදාළ වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාමත්මක කිරීමයි කළ යුතු” යනුවෙන් අමාත්‍යවරයා අදහස් දැක්වීය.

මේ පිළිබඳ අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සුදේශ් නන්දිමාල් කියා සිටියේ, බන්ධනාගාර ඇතුළතදි රැඳවියන්ට එරෙහිව කිසිම ආකාරයකට ගිනි අවි පාව්ච්චි කරන්න නිලධාරීන්ට බලය දී නොමැති බවයි. “අවම බලය හෝ යොදන්න පුලුවන් වෙන්නේ කිසියම් රැඳවියෙක් පළා යන්න හදනවා නම් පිටත දී පමණයි. මේ රැඳවියන් ඉන්නේ මහේස්ත්‍රාත් රැකවරණය යටතේ. බන්ධනාගාර තියෙන්නේ ඔවුන්ට ආරක්ෂාව දෙන්න කියන එක මේ නිලධාරීන්ට අමතක වෙනවා” යනුවෙනි.

සුදේශ් නන්දිමාල්“මේක රැඳවියෝ අතරම ගැටුමක්ය, කොරෝනා හැදිලා නිසා මරණ පරීක්ෂණත් නැතුව මෘතදේහ පුච්චන්න ඕනය කියල තමයි බන්ධනාගාර නිලධාරීන් වගේම ඇමතිලත් මේ කතාව යට ගහන්න හැදුවේ. ඒත් අපි මැදිහත් වෙලා මරණ පරීක්ෂණයක් ඉල්ලුවා. පැහැදිලිව මරණ පරීක්ෂණ වාර්තාවේත් මහේස්ත්‍රාත්තුමාගේ නියෝගයේත් සඳහන් වෙනවා මේ මරණ සිද්ධ වෙන්නේ වෙඩි තැබීම්වලින් සහ ඒවා සියල්ල උදරයට උඩින් සිදුවුන තුවාල නිසා කියල. දැන් මේක යටපත් කරන්න හදනවා දණහිසට පහළින් වෙඩි වැදුණ අයත් හිටියා කියල. ඇත්ත කතාව සමහර මරණකරුවන්ට වගේම තුවාල වුන අයටත් පොලුවලිනුත් ගහල හිංසනයට ලක් කරලා තිබුනා. ”

යුක්තිය ප්‍රමාද වීම

අඟුණකොළපැලැස්ස හිරගෙදරට වහාම යන ලෙස රතුකුරුසියට ඉල්ලීමක්මේ පිළිබඳ අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා කියා සිටියේ, “වැලිසර  මහේස්ත්‍රාත්තුමා නියෝග කළා මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න. අද වෙනකම් ඒ නියෝගයට ගරු කිරීමක් හෝ එය ක්‍රියාත්මක වීමක් නෑ. මේකට සම්බන්ධ ඇතැම් නිලධාරීන් ගැන විනය පරීක්ෂණ කරනවා කිව්වා. ඒවා නෙවෙයි මේ සිද්ධියට අදාළ අයට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මහේස්ත්‍රාත් නියෝගය නොතකන නිසා අභියාචනාධිකරණයේ අපි රීට් එකක් ගොනු කළා, මේ සිදුවීමට වගකිව යුතු අය වහාම අත්අඩංගුවට ගන්න CID යට නියෝග කරන්න” කියල යැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“අඩුම තරමින් මේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් මාරු කිරීමක් වැඩ තහනමක් ගැන හෝ අපිට අහන්න ලැබිලා නෑ. ඒත් ඒ ඇතැම් නිලධාරීන් උසස් විම් අරන් වෙන තැන්වලට මාරු වුනා කියල නම් අහන්න ලැබුනා” යැයි නන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

අනතුරට පෙර රතු එළි

2020 මාර්තු 24 වැනිදාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය සමඟ බන්ධනාගාර තුළ ඇති විය හැකි තත්ත්වය සලකා බලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිරකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.

එසේම, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද බලධාරීන්ට අනතුරු අඟවමින් බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට විසඳුමක් ලෙස ආණ්ඩුවට යෝජනා ගණනාවක් ඉදිරිපත් කිරීමට මාර්තු මස 16 වැනිදා කටයුතු කර තිබුණි. මෙමඟින්, බන්ධනාගාර ආඥා පනතේ ප්‍රතිපාදන පරිදි සිව්වස් සමාලෝචනය ඇතුළු සමාලෝචන ක්‍රියාවලිය කිරීම සහ එමඟින් දැනටමත් සුදුසුකම් ලැබූ රැඳවියන් නිදහස් කිරීම, බන්ධනාගාර ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසුකම් ලැබූ සියලු රැඳවියන්ට නිවාඩු ලබාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව සුළු දඬුවම් ලැබූ රැඳවියන්, සුළු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි රැඳවියන්, බරපතල ලෙස රෝගතුර වූ සහ වයස අවුරුදු 70 ඉක්මවූ වයෝවෘද්ධ රැඳවියන් නිදහස් කිරීම යනාදිය යෝජනා වී තිබුණි.

මෙකී සියලු අනතුරු ඇඟවීම්, ඉල්ලීම්, නිර්දේශ තිබියදිත් කිසිදු මැදිහත් වීමක් කිරීමට හෝ ඒ කෙරෙහි අවධානය යොමු කිරීමට පවා බලධාරීන් අසමත් වීමේ ප්‍රතිඵලය වූයේ රැඳවියන් ගණනාවකට මරු කැඳවීමයි; ලසන්ති වැන්නියන්ට සිය සැමියා, පියා හෝ සහෝදරයා අහිමි වීමයි.

“මගේ මහත්තයා බන්ධනාගාරේ හිටියේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසා. එහෙම මිනිහෙක්ට හැදිලා එන්න තියෙන හොඳම තැන එතැන කියල මම හිතන් හිටියේ. මම දවසක් මහත්තයා බලන්න ගියාම මට කිව්වා මම ආයෙත් නම් ඒවා ගන්නේ නෑ කියල. එහෙම කියපු මනුස්සයාට ඒකෙන් එළියට එන්න ලැබුනේ නෑ. වෙඩි තියල මැරුවා.” ලසන්ති සිය සැමියා පිළිබඳ වේදනාත්මක මතකයන් සිහිපත් කරන්නීය.

පංච පුද්ගල කමිටු වාර්තාව

මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදුකර එයට හේතු විමසා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට 2020 දෙසැම්බර් 01 වැනිදාවේ පංච පුද්ගල කමිටුවක්, එවකට අධිකරණ අමාත්‍යවරයාව සිටි නීතිඥ අලි සබ්රි විසින් පත් කරන ලදී. එම අතුරු වාර්තාව එම වසරේ දෙසැම්බර් 07 වැනි දින අධිකරණ අමාත්‍යවරයාට බාර දෙනු ලැබිණි.

එම වාර්තාව පෙන්වා දෙන පරිදි රැඳවියන් උද්ඝෝෂණය කිරීමට පෙළඹීම සඳහා බලපෑ හේතු දිනෙන් දින බන්ධනාගාරය තුළ වර්ධනය වී ඇති බවට කමිටුව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, බන්ධනාගාරය තුළ පැවති අධික තදබදය ප්‍රධාන හේතුවක්ව ඇත. තවද, කොවිඩ් වසංගතය හේතුවෙන් රැඳවියන්ට තම ඥාතීන් මුණ ගැසීමට නොහැකි වීම සහ ඔවුන් රැගෙන එන ආහාර පාන, බෙහෙත් වැනි ද්‍රව්‍ය නොලැබී යාම, ප්‍රමිතියට අනුව කෑම වේලක් සමව නොලැබීම, අධිකරණවලින් ඇප ලබාදුන් අයවලුන් කඩිනමින් මුදා නොහැරීම, ඇප ලැබී නොමැති අයට ඇප ලබා ගැනීමට සැලැස්වීම, කොවිඩ් වැළදුන රෝගීන් රාශීයක් මහර බන්ධනාගාර රැඳවියන් අතර සිටින බවට දැන ගැනීම නිසා ඇති වූ මරණීය බිය යනාදිය හේතු වී ඇත.

මෙම සිදුවීම සිදු වූ නොවැම්බර් 29 වැනි දින වන විට මහර බන්ධනාගාරය තුළ සිරකරුවන්, අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන්, මරණීය දඬුවම් නියම වූ සිරකරුවන්, අභියාචනා ඉදිරිපත් කර ඇති මරණීය දඬුවම නියම වූ සිරකරුවන් සහ සැකකරුවන් ඇතුළුව සියලු රැඳවියන් 2793ක් සිට ඇත.

බන්ධ/කෝ/ජ/අංක˸11/3 හා 2013 පෙබරවාරි 26 චක්‍රලේඛය අනුව සිරමැදිරියක එක් නේවාසිකයෙකුට අනුමත භූමි ප්‍රමාණය වාර්ග අඩි 24ක් විය යුතු අතර ඒ අනුව රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව වන්නේ 806 දෙනෙකු පමණි. එහෙත් මෙම දිනය වන විට රඳවා සිටි මුළු රැඳවියන් ගණන 2600කි. එය අනුමත ප්‍රමාණයට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි බව මෙම අතුරු වාර්තාව පෙන්වා දේ.

මානව හිමිකම් කොමිසම් වාර්තාව

මේ අතර, දිවයින පුරා පිහිටි බන්ධනාගාර 20ක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2018 වසරේ සිදුකළ අධ්‍යයන වාර්තාවක් එම වකවානුවේම නිකුත් වූ අතර එකී වාර්තාවේ නිර්දේශ ඉහත අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාතව තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, එකී අධ්‍යයනය විසින් ද පද්ධතියට දරා ගත නොහැකි තදබදය කෙරෙහි අවධානය යොමු කර ඇත.

“සිරකරුවෙකුට හිමි විය යුතු පෞද්ගලික ඉඩ අවකාශය සම්බන්ධයෙන් වාට්ටුවල ප්‍රමිතියක් නොමැති අතර වාතාශ්‍රය. ආලෝකය හා උෂ්ණත්වය බොහෝ අවස්ථාවල දී මනූෂ්‍ය වාසයට නුසුදුසු තත්ත්වයක් දක්වා පහත වැටේ.”

විශේෂයෙන් වාට්ටු හා අනෙකුත් ස්ථානවල තත්ත්වය සෞඛ්‍ය නිලධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර පරීක්ෂාවට ලක්නොවන බවද එම වාර්තාව පෙන්වා දී ඇත. තවද සිරකරුවන්ට ආහාර, ජලය, සනීපාරක්ෂාව, පෞද්ගලික ස්වස්ථතාවය හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ අවම අවස්ථා කෙරෙහි වාර්තාවේ අවධානය යොමුව ඇත.

කල්දේරම් බතෙහි ප්‍රමිතිය

මෙම වාර්තා දෙකෙහිම බන්ධනාගාර මුළුතැන් ගෙවල්හි අපිරිසිදු බව, රැඳවියන්ට කලට වේලාවට ආහාර ලබා නොදීම, ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් නොලැබීම, ආහාරවල පිරිහුණු ගුණාත්මකභාවය, ආහාර විශාල වශයෙන් අපතේ යෑම යනාදිය නීරික්ෂණ ලෙස පෙන්වා දේ. විශේෂයෙන් පංච පුද්ගල කමිටු වාර්තාව පෙන්වා දෙන අන්දමට නොසන්සුන්තාවයට තුඩු දුන් එක් ප්‍රධාන හේතුවක් වන්නේ එම දිනවල ලැබෙන ආහාර වේල් රසවත් නොවීම මත ආහාරයට නුසුදුසු වීමයි.

“… හොදි මදි වූ විට වතුර කවලම් කර ඇත. මස් මාළු පිසින විටදි ඒවා කුඩා කැබලි බවට පත්වන බැවින් එක් රැඳවියෙකුට ග්‍රෑම් 56ක ප්‍රමාණයක් ලබාදිය යුතුව තිබුනද එය සැමට ලැබී නැත.”

එහෙත් රාජ්‍ය ආමාත්‍යවරයා කියා සිටියේ, බන්ධනාගාරවල රැඳවියන්ගේ වියදමට වාර්ෂීකව බිලියන හතරහමාරක් පමණ වැයවන බවත් පවත්නා ආර්ථීක අර්බුදය සමඟ එය පහසු කටයුත්තක් නොවූවද රැඳවියන් සඳහා තිබෙන ආහාරවේල් සම්බන්ධ ක්‍රියාපටිපාටිය උල්ලංඝනය නොවන ලෙස කෑම සැපයීමට කටයුතු කරන බවත්ය.

“රැඳවියන්ට නියමිත පටිපාටිය අනුව කෑම දෙනවා නම් එළියේ අපි කනවට වඩා හොඳ කෑම එකක් මේ අයට ලැබෙන්න ඕන. ඒත් කිසිම ප්‍රමිතියක් නැති කෑම ලැබෙන්නේ. සමහර වේලාවට වතුරයි බතුයි කන්න වෙන්නෙ. කොරෝනා කාලේ මේ කෑමවල ප්‍රමිතිය තවත් නරක් වුනා” යැයි සුදේශ් නන්දමාල් පැවසීය.

කුමන අන්දමේ කමිටු වාර්තා සහ නිර්දේශ නිකුත් කර තිබුනද බන්ධනාගාරවල තත්ත්වයේ වෙනසක් අදට ද නැති බව ක්‍රියාකාරීන්ගේ අදහසයි.

තදබදයට ආණ්ඩුවේ විසඳුම

කෙසේවුවත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමේදි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, “බන්ධනාගාරවල ඉඩකඩ තිබෙන්නෙ 13,000ක් පමණ රැඳවියන් සඳහා පමණක් වුනත් 28,000කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් දැන් බන්ධනාගාරවල ඉන්නවා. ඒ නිසා අපි නීතිපති දෙපාර්තමේන්තුව සමඟ දැන් කටයුතු කරමින් යනවා සිවිල් කාරණා සම්බන්ධ වැරදිකරුවන් වුන රැඳවියන් 5000ක් පමණ නිවාස අඩස්සියේ තබමින් දඬුවමට යටත් කරන්න. මේ සඳහා පනත් කිහිපයක් සංශෝධනය කරන්න වෙනවා.”එය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එළැඹෙන මාසය තුළ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

එසේම ගැටලු වැඩි වශයෙන් ඇති වන වැලිකඩ බන්ධනාගාරය සම්පූර්ණයෙන් හොරණට ගෙනයෑම සඳහා අක්කර 200ක පමණ භූමිභාගයක් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් තම අමාත්‍යාංශය විසින්ම සපයා ගනිමින් ලබන වසර වන විට එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

සිරකරුවෝද මනුෂ්‍යයෝ

එහෙත් මේ සම්බන්ධව අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් කමිටුවේ සුදේශ් නන්දිමාල් පවසන්නේ, මේ කිසිවක් අලුතින් ක්‍රියාත්මක වන දේ නොවන බවයි. “නිවාස අඩස්සිය තැබීම දැනටත් වෙන දෙයක්. වැලිකඩ, හොරණට ගෙනියන්නේ රැඳවියන්ට පහසුකම් හදන්න හරි තදබදය අවම කරන්න හරි නෙවෙයි. බන්ධනාගාරයක් හැදීමේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේක එවැනි විද්‍යාත්මක පදනමක් නැතිව සිද්ධ වෙන ක්‍රියාවක්. මහර බන්ධනාගාරය කියන්නේ විශාල භූමි ප්‍රමාණයක පැතිරුණු විශාල වටිනාකමක් සහිත භූමියක්. මොකක් හරි බහුජාතික සමාගමකට ඒ ඉඩම දෙන්නයි මේ වැඩේ කරන්නේ.”

“බන්ධනාගාර කියන්නේ විශෝධන ආයතන. හැබැයි ඒවාගේ කිසිම විශෝධනයක් නෑ. නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙළක් නෑ. රැඳවියන්ට ක්‍රියාත්මක වෙන්න ඕන සමා ක්‍රම තියෙනවා. මේවා නිසි ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ නෑ.” අර්බුදය ඇත්තේ එහි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.

එහෙත් උත්ප්‍රාසය වන්නෙ “සිරකරුවෝද මනුෂ්‍යයෝ” යැයි මහර බන්ධනාගාරය ඉදිරිපිට ලියා තිබිමෙහිය.

“සිය නිදහස අහිමි කරනු ලැබූ සියලුම තැනැත්තන්ට මනුෂ්‍ය දයාවෙන් සහ මිනිසාට ස්වභාවයෙන් හිමි අභිමානය පිළිබඳ ගෞරවයෙන් යුතුව සැලකිය යුතු” යැයි කියන්නේ රටක් ලෙස අප ද අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ය.

කොවිඩ් දෙවැනි රැල්ල සමාජයේ පැතිරී යාම සම්පූර්ණයෙන් පාලනය කිරීම රජයට නොහැකි වීම අපට තේරුම් ගත හැකිය. එහෙත් රජයේ සම්පූර්ණ පාලනයේ පවතින බන්ධනාගාර ආශ්‍රිතව, කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීමට නොහැකි වීමත් සිය සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා සිටි රැඳවියන් ඝාතනය කිරීමක් දක්වා වන තැනකට එය තල්ලු වීමත් ඉන් නොනැවති අධිකරණ නියෝග තිබියදි පවා ඝාතකයන් අද දක්වා නිදැල්ලේ සිටීමත් සම්බන්ධයෙන් රජයට සහ බන්ධනාගාර බලධාරීන්ට සරල පිළිතුරක් නැති බව අප අවධාරණය කළ යුතුය.

ජයනි අබේසේකර

සිවිල් සමාජ ක්‍රියාකාරිනි