සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නියෝජිතයන් අතර සාකච්චාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විනි.
එහිදී බන්ධනාගාර රෝහල ආශ්‍රිත්ව පවතින දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව කඩිනම් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු විය.
මෙම සාකච්චාවේදී මූලික වශයෙන් සිරකරුවන්ගේ සෞඛ්‍ය, බන්ධනාගාර රෝහල් වල පවතින අක්‍රමිකතා හා දූෂණ සහ වත්මන් බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂගේ විසින් සිදුකරන අල්ලස් ලබා ගැනීම් පිළිබඳව අවධානය යොමුවිය.
ඒ අනුව අසංක ප්‍රියදර්ශන නැමැති රැඳවියාට ප්‍රතිකාර කිරීම සඳහා බන්ධනාගාර රෝහල් අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව ඒ පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණය කඩිනම් කරන බවටත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
මීට අමතරව බන්ධනාගාර පද්ධතිය තුළම පවතින විශාල ගැටලුවක් වන තදබදය බන්ධනාගාර රෝහල් සඳහාද විශාල ගැටලුවක්ව පවතින බවත් එහි තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම බන්ධනාගාර රෝහල ආශ්‍රිතව පවතින තවත් ගැටලු බොහොමයක්ද සාකච්චාවේදී අවධානය යොමුවිය. ඒ අතර හිටපු අමාත්‍ය දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ රඳවා සිටීම, වෛද්‍යවරුන් නිසි පරිදි රාජකාරී කිරීමට අසමත් වීම ආදී කරුණු විය.
මෙකී කරුණු සඳහා පිළිතුරු සෙවීමේ මූලික පියවරක් ලෙස ඉක්මනින්ම නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය. එසේම සිරකරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව වගවීමේ උවමනාවක් අමාත්‍යංශයට පවතින බවත් ඒ සඳහා ඔවුන් උපරිම උනන්දුවෙන් යුතුව කටයුතු කරන බවටත් අමාත්‍යවරයා පැවසීය.
එසේම ප්‍රමාණවත් නිළධාරීන් පිරිසක් අධාළ අංශ වලට අනියුක්ත කිරීමටත් අවශ්‍ය කරන බඳවා ගැනීම් සිදු කිරීමටත් නියමිත බවත් ඒ හරහා මෙකී ගැටලු වලට විසඳුම් සෙවීමේ විධිමත් සහ කාර්‍ය්ක්ෂම යාන්ත්‍රණයක් ගොඩනගන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම සාකච්චාව සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්යක්ෂ මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල්, විධායක අධ්යක්ෂ නීතීඥ සේනක පෙරේරා, රසික ගුණවර්ධන සහ බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, විශ්‍රාමික බන්ධනාගාර හෙද නිළධාරී මහින්ද කෝදාගොඩ යන පිරිස ද එක්විය.